International07 June 2026

"FIFA ලෝක කුසලානයේ මගේ සහාය අමෙරිකාවට" : පාප්වහන්සේ

ලබන බ්‍රහස්පතින්දා (11) ආරම්භ වීමට නියමිත 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී තමන් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමට සහයෝගය දක්වන බව කතෝලික සභාවේ ප්‍රථම අමෙරිකානු පාප්වහන්සේ වන 14 වැනි ලියෝ පාප්වහන්සේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

රෝමයේ සිට මැඩ්රිඩ් බලා ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ, "මම අනිවාර්යයෙන්ම අමෙරිකාවට සහය දෙනවා. මට තරග කීයක් නැරඹීමට හැකිවෙයිද කියා මා දන්නේ නැහැ, නමුත් මම ඔවුන්ට සුබ පතනවා" යනුවෙන්.

චිකාගෝ නුවර උපත ලැබූ රොබට් ප්‍රිවෝස්ට් (Robert Prevost) නමැති උන්වහන්සේ පාප්වහන්සේ ලෙස පත්වීමට පෙර දශක කිහිපයක් පේරු රාජ්‍යයේ මිෂනාරිවරයෙකු සහ බිෂොප්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේදී උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාව සහ පේරු අතර තරගයකදී තමන් පේරු රාජ්‍යයට සහය දෙන බව වුවද, මෙවර ලෝක කුසලානය සඳහා පේරු රාජ්‍යය සුදුසුකම් ලබා නොගැනීම හේතුවෙන් මෙලෙස අමෙරිකාවට උන්වහන්සේගේ ආශිර්වාදය හිමිව තිබෙනවා.

එමෙන්ම, ස්පාඤ්ඤයේ පවතින සුපිරි පාපන්දු තරගකාරීත්වයක් වන 'රියල් මැඩ්රිඩ්' (Real Madrid) සහ 'බාසිලෝනා' (Barcelona) කණ්ඩායම් දෙකෙන් උන්වහන්සේ වඩාත්ම කැමති කණ්ඩායම කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට උපහාසාත්මක පිළිතුරක් දෙමින් පාප්වහන්සේ සඳහන් කළේ, "පාප්වහන්සේ ඉන්නේ හැම කණ්ඩායමක් සමඟමයි, හැබැයි ප්‍රිවෝස්ට් (උන්වහන්සේගේ පෞද්ගලික නාමය) ඉන්නේ රියල් මැඩ්රිඩ් සමඟයි" යනුවෙන්.

ස්පාඤ්ඤයේ සහ කැනරි දූපත්හි සතියක නිල සංචාරයක් ආරම්භ කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මූලාශ්‍ර - wionews / sky news
Related recommendation
Hiru TV News | Programmes