International09 June 2026

ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉහළ නිපුනතාවලින් යුත් විදේශීය ශ්‍රමිකයන් සඳහා වන H-1B වීසා බලපත්‍ර වෙනුවෙන් පනවා තිබූ ඇමෙරිකානු ඩොලර් 100,000 ක ගාස්තුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ඊයේ (08) අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධිකරණය නිගමනය කර ඇත්තේ මෙම ගාස්තුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව පනවන ලද නීතිවිරෝධී බද්දක් වන බවයි.

බොස්ටන්හි (Boston) යූ.එස්. දිස්ත්‍රික් විනිසුරු ලියෝ සොරොකින් (Leo Sorokin) විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාන්ත නීතිපතිවරුන් 20 දෙනෙකු විසින් ගොනු කරන ලද නඩු විභාගයකට අදාළවයො.

විශේෂයෙන්ම තාක්ෂණික සමාගම් තම ආයතන වෙත විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා බහුලව භාවිත කරන H-1B වීසා බලපත්‍රවල පිරිවැය, ට්‍රම්ප් පරිපාලනය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ මෙය නීත්‍යානුකූල මූල්‍ය දඩයක් (Penalty) වන බවයි.

"එක්සත් ජනපදයේ අවශ්‍යතාවලට අහිතකර" යැයි හැඟෙන අවස්ථාවලදී ඇතැම් විදේශිකයන්ගේ පැමිණීම සීමා කිරීමට ෆෙඩරල් සංක්‍රමණික නීතිය යටතේ ජනාධිපතිවරයාට බලය පවතින බැවින්, මෙම පියවර සාධාරණ බව රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් විනිසුරු සොරොකින් එම තර්කය බැහැර කරමින් කියා සිටියේ, මෙම මුදල දඩයක් නොව බද්දක් (Tax) වන බවත්, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරයාට එවැනි බද්දක් පැනවීම සඳහා කොංග්‍රස් මණ්ඩලයෙන් කිසිදු අවසරයක් ලැබී නොමැති බවත්, එබැවින් එය ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ පුරවැසි සහ සංක්‍රමණික සේවා ආයතනයට (USCIS) නීතිමය හැකියාවක් නොමැති බවත් ඔහු නිගමනය කල බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මූලාශ්‍රය - රොයිටර්ස්
Related recommendation
Hiru TV News | Programmes