General29 October 2025

ලූනු මනින කොන්දේසියට ගොවීන්ගේ විරෝධය

ලොකු ලූනු මිල දී ගැනීමට රජය හඳුන්වා දී ඇති නිර්ණායකයන්වලට ගොවි සංවිධාන ඇතුලු පාර්ශ්ව රැසක් චෝදනා එල්ල කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ආනයනික ලොකු ලූනු අලෙවි කරගැනීමට ඉඩදීම සඳහා රජය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

තම අස්වැන්න නිසි මිලකට අලෙවි කරගත නොහැකිව මෙරට ලොකු ලූනු ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටින පසුබිමක ලංකා සතොස හරහා ලොකු ලූනු මිලදී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබුණා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමේදී ලොකු ලූනු සඳහා නිර්ණායක කිහිපයක් ද ඉදිරිපත් කෙරුණු අතර එහි දැක්වුණේ මිලදී ගන්නා ලොකු ලූනුවල විෂ්කම්භය මිලිමීටර 35ත් 65ත් අතර විය යුතු බවටයි.

එමෙන්ම කිලෝවකට ලොකු ලූනු ගෙඩි 8ක් පමණ ඇතුළත් වන ලෙස ඒකාකාරී ප්‍රමාණයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුක්ත වීම, හොඳින් මේරූ සහ හොඳින් වියලී තිබීම, පොතු නොගැලවුණු පිරිසිදු ලූනු වීම සහ අවම වශයෙන් හොඳින් වියළී ඇති පිටත පොතු දෙකක් තිබීම ඇතුලු නිර්ණායක 17ක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව එම ලොකු ලූනු කිලෝවක ගැණුම් මිල දැක්වෙන්නේ රුපියල් 140 ක් ලෙසයි.

දේශීය ලොකු ලූනු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙන්කර ඇති ස්ථානය වෙත ඊයේ ගොවීන් පැමිණ සිටි අතර එහිදී ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

කෙසේ වෙතත් එහි සිටි නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය 10 වැනිදායින් පසු මෙම ස්ථානයට දේශීය ලොකු ලූනු නොලැබුණු බවයි.

එවන් පසුබිමක තඹුත්තේගම, තලාව, නොච්චියාගම ආදී ප්‍රදේශවල ලොකු ලූනු ගොවීන් තවමත් සිය අස්වනු අලෙවි කරගත නොහැකිව අසරණව සිටිනවා.
Related Recommends
Hiru TV News | Programmes