General29 October 2025

වැලිගම වෙඩික්කරුගේ පෙර වැරදි සොයා විමර්ශන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරුට ඇති වෙනත් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර පැය 72ක රැදවුම් නියෝග ලබා සිටින සැකකරුවන් 06 දෙනාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීමේ හමුවේ තවත් කරුණු රැසක් ආනාවරණ වී තිබුණා.

ඒ අනුව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීමට අදාළ වෙඩික්කරු සහ ඝාතනයට පැමිණි යතුරුපැදිකරු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් වන අතර මොවුන් වැලිගම සභාපතිවරයා ඝාතනය සිදු කිරීමෙන් දින දෙකකට පසු මහියංගණය ආශ්‍රිත ප්‍රදේශයක රැදීසිටි බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර වෙඩික්කරු පොලිසිය හමුවේ පාචේචාරණය කර තිබුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවයි.

අදාළ කොන්ත්‍රාත්තුව ඩුබායි ලොක්කා නමැත්තකු විසින් ලබාදී ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කොග්ගල වෙල්ලාලගේ චතුර කුමාර හෙවත් ඩුබායි ලොක්කා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් සහ රොටුඹ අමිල යන අයගේ සමීපතමයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය, ඩුබායි ලොක්කාගෙන් ලැබුණු උපදෙස් මත වෙනත් පාර්ශවයක් වෙත ලබාදුන් බව අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.

වෙඩි තැබීම සිදුකර යතුරුපැදියෙන් පලායන අවස්ථාවේදී තවත් යතුරුපැදියකින් පැමිණි පාර්ශවයක් විසින් එය ලබාගත් බවටයි ඔහු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ලේදී අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ රියදුරු සහ සැකකරුවන්ට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Recommends
Hiru TV News | Programmes