International27 January 2026

වයස 15ට අඩු සිසුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරිපත් වූ මෙම පනතට පක්ෂව ඡන්ද 116ක් සහ විපක්ෂව ඡන්ද 23ක් හිමි වුණා.

ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සහ සයිබර් හිරිහැර (Cyberbullying) වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම නීතිය සම්මත වුවහොත්, වයස 15ට අඩු දරුවන්ට Snapchat, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට නොහැකි වනු ඇති.

එසේම කනිෂ්ඨ සහ මධ්‍යම පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන ජංගම දුරකථන තහනම ජ්‍යෙෂ්ඨ පාසල් දක්වා දීර්ඝ කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ වන නව පාසල් වාරයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපති මැක්‍රෝන් අපේක්ෂා කරන්නේ.

හානිකර යැයි සැලකෙන සමාජ මාධ්‍ය ලැයිස්තුවක් රජය විසින් සකස් කරනු ලබන අතර, අඩු හානිකර අඩවි සඳහා මවුපියන්ගේ පැහැදිලි අවසරය අවශ්‍ය වනු ඇති.

මෙම පනත සම්මත වීමෙන් පසු අදහස් දැක්වූ ජනාධිපති මැක්‍රෝන් ප්‍රකාශ කළේ, "අපේ දරුවන්ගේ මොළය හෝ හැඟීම් විකිණීමට නැත" යනුවෙන්.

දරුවන්ගේ මානසික සෞඛ්‍යය මුදල් ඉපයීමට පමණක් උත්සාහ කරන සමාගම් අතට පත් කළ නොහැකි බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes