International17 April 2026

යුරේනියම් තොගය භාර දීමට ඉරානය එකඟයි: ට්‍රම්ප්ගෙන් සුභවාදී ප්‍රකාශයක්

යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවල ප්‍රධාන බාධාවක්ව පැවති, ඉරානය සතු යුරේනියම් තොගය භාර දීමට ඔවුන් එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

වොෂින්ටනය සහ ටෙහෙරානය ගිවිසුමකට එළඹීමට "ඉතා ආසන්න" මට්ටමක පසුවන අතර, මේ සති අන්තයේ ඉක්මනින් යළිත් සාකච්ඡා ආරම්භ විය හැකි බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් ලාස් වේගාස් හි පැවති උත්සවයකදී අදහස් දක්වමින්, යුද්ධය ආරම්භ වූ දා සිට ඒ පිළිබඳව වූ වඩාත්ම සුභවාදී තක්සේරුවක් ඔහු විසින් ලබා දී තිබෙනවා.

ඔහු පැවසුවේ කටයුතු "ඉතා සාර්ථකව" සිදුවන බවත්, එය ඉක්මනින් අවසන් වනු ඇති බවත්.

මීට පෙර ධවල මන්දිරයේදී ඔහු කියා සිටියේ, න්‍යෂ්ටික අවි ලබා නොගැනීමට ඉරානය එකඟ වී ඇති බවත්, ඔහු විසින් "න්‍යෂ්ටික දූවිලි" ලෙස හැඳින්වූ යුරේනියම් තොගය භාර දීමට නියමිත බවත්.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැත.

නැවත වරක් සෘජු සාකච්ඡා වටයක් පැවැත්වීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ ට්‍රම්ප්, තවත් දින පහකින් අවසන් වීමට නියමිත ඉරානය සමග පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳව තමාට සැකයක් පවතින බවද ප්‍රකාශ කර තිබෙනවා.

_බිබීසී_
 
Related recommendation
Hiru TV News | Programmes