International21 April 2026

ඉන්දියාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හදීසියේම සෞදියට

ඉන්දියාවේ මූලෝපායික සහ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස, එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සවුදි අරාබියේ නිල සංචාරයක නිරත වී තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් මත සිදුව ඇති මෙම සංචාරය මගින්, එක්සත් ජනපද-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වයේ බලපෑම හමුවේ ගල්ෆ් කලාපය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නවදිල්ලිය දරන උත්සාහය මැනවින් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමාත්‍යාංශ මට්ටමේ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් තහවුරු කර තිබුණේ, දොවාල් සවුදි බලශක්ති අමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ එරට ආරක්ෂක උපදේශකවරයා සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූ බවයි.

"අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගල්ෆ් කලාපයේ රටවල් සමඟ පවතින අපගේ සබඳතා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අප්‍රේල් 19 වන දින සවුදි අරාබියේ නිල සංචාරයක නිරත වුණා. එහිදී ඔහු සවුදි අරාබියේ බලශක්ති අමාත්‍ය, විදේශ අමාත්‍ය සහ තම සහකරු සමඟ සාකච්ඡා පැවැත්වූවා. කලාපීය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමටත් මෙම හමුවීම් බෙහෙවින් උපකාරී වුණා," යනුවෙන් ජයිස්වාල් එහිදී පවසා තිබුණා.

මෙම සාකච්ඡා කලාපීය අස්ථාවරත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත් තීරණාත්මක අවස්ථාවක් මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ද හඳුන්වා දී තිබෙනවා.

එහිදී ඉන්දු-සෞදි සබඳතාවයේ වැදගත් වන "ප්‍රධාන කුළුණු" හතරක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ගෝලීය වෙළඳ මාර්ගවලට පවතින තර්ජන මධ්‍යයේ වුවද ස්ථාවර සැපයුම් දාමයන් සහතික කිරීම,

හෝමුස් සමුද්‍ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ආරක්ෂක ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම,

බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීම,

ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ඒවායි.
Related recommendation
Hiru TV News | Programmes