General01 May 2026

"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක

වත්මන් රජය ආර්ථික ප්‍රතිසංස්කරණවල නාමයෙන් පවතින කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමට දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

2026 ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ අයිතීන් ඉල්ලා හඬ නඟන වෘත්තීය සමිති සහ ශ්‍රමිකයන් මර්දනය කරන ගමන රජය වහාම නැවැත්විය යුතු බවයි.

1886 වසරේ චිකාගෝ නුවරින් ඇරඹි අරගලය හරහා දිනාගත් පැය අටේ වැඩමුරය සහ මානුෂීය සේවා කොන්දේසි ශ්‍රමික අභිමානයේ පදනම බව ඔහු පෙන්වා දෙනවා.

මෙරට ආර්ථිකයේ ජීව රුධිරය වන කම්කරු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ කැපකිරීම් ගෞරවයෙන් අගය කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

රජයේ අදූරදර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇති බවටද ඔහු චෝදනා කරනවා.

ආයෝජන දිරිගැන්වීමේ මුවාවෙන් කම්කරු නීති දුර්වල කිරීමට ගන්නා උත්සාහයන් හරහා ශ්‍රමිකයා දැඩි අවදානමකට ලක්ව ඇති බව ඔහු පවසන්නේ.

ශ්‍රමිකයා යන්ත්‍රයක් ලෙස නොව සංවර්ධනයේ සම කොටස්කරුවකු ලෙස සලකන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.

ජීවන වියදමට සරිලන විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සුරක්ෂිතභාවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තහවුරු කිරීමටත් කැපවන බව ඔහු පවසනවා.

වැටුණු රට ගොඩනැගිය හැක්කේ ශ්‍රමයට නිසි ගෞරවය දෙන පාලනයක් තුළින් පමණක් බව පවසන විපක්ෂ නායකවරයා, මර්දනයට එරෙහිව සහ යුක්තිය වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසයි සමස්ත වැඩ කරන ජනතාවට ආරාධනා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes