General01 May 2026

ශ්‍රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බව ලෝක කම්කරු දිනය වෙනුවෙන් පනිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන බවයි ඇය පවසන්නේ.

දශක ගණනාවක අභිමානවත් අරගලයක උරුමය දරා සිටින ශ්‍රී ලාංකේය වැඩකරන ජනතාව, මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ශ්‍රමයේ ගෞරවය සුරක්ෂිත කරන මහජන රජයක් යටතේ බවයි සඳහන් කරන්නේ.

1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනය, ඒ.ඊ. ගුණසිංහයන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සමසමාජ පක්ෂයේ මැදිහත්වීම හරහා කම්කරු හඬ දේශපාලන බලවේගයක් වූ අයුරු මෙහිදී සිහිපත් කරනවා.

1923 දුම්රිය වැඩවර්ජනය සහ 1947 රාජ්‍ය සේවා වැඩවර්ජනය මගින් මෙරට ආර්ථික පෙරළියක නියමුවා වැඩකරන ජනතාව බව තහවුරු කළ බවයි ඇය පවසන්නේ. .

මෙතෙක් අවධානයට ලක් නොවූ වැටුප් රහිත ශ්‍රමය (Unpaid Labor) හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද මෙම නිවේදනයේ සඳහන්.

සෑම පුරවැසියෙකුටම සාධාරණ සහ සමාන ප්‍රවේශයන් සහිත, ගෞරවනීය ලෙස වෘත්තීය ජීවිතය ගත කළ හැකි සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටිනවා.

පවතින සේවාවන් පුළුල් කරමින් ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අගමැතිවරිය පවසනවා.

මේ අතර ශ්‍රමය අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා සියලු දෙනාට එකමුතුව පෙරට එන ලෙසයි අගමැතිවරිය මෙම මැයි දිනයේදී ආරාධනා කර සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes