International02 May 2026

ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි

ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් චීන සමාගම් පහකට පනවන ලද සම්බාධක අවහිර කිරීමට චීන වාණිජ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වොෂින්ටනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම "දේශසීමා ඉක්මවා ගිය අධිකරණ බලය" (Long-arm jurisdiction) දැඩි ලෙස හෙළා දකින බව බීජිං පාලනය මීට පෙර නිවේදනය කළ අතර, මේ වන විට එම සම්බාධක අවහිර කරමින් චීනය විසින් නිල තහනම් නියෝගයක් (Injunction) නිකුත් කර තිබෙනවා.

චීන රජයේ නිල පුවත් ඒජන්සිය වන 'සින්හුවා' වාර්තා කරන පරිදි, මෙම සම්බාධකවලට ලක්ව ඇති සමාගම් ලෙස, Hengli Petrochemical (Dalian) Refinery, Shandong Jincheng Petrochemical Group, Hebei Xinhai Chemical Group, Shouguang Luqing Petrochemical, Shandong Shengxing Chemical සඳහන්.

චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉරානය සමඟ සිදුකරන සාමාන්‍ය වෙළඳ ගනුදෙනු සඳහා ඇමරිකාව මැදිහත් වීම අනුමත කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, චීනය විසින් පැනවූ මෙම තහනම් නියෝගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මූලාශ්‍රය | අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes