International14 June 2026

රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට

යුක්රේන යුද්ධය සඳහා මුදල් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර සම්බාධක මඟහරිමින් ගමන් කළ රුසියාවේ ප්‍රබල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉංග්‍රීසි ඕඩයේදී (English Channel) වටලා තම භාරයට ගැනීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්ගේ සෘජු නියෝගය මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන්.

'ස්මිර්ටෝස්' (Smyrtos) නමැති මෙම රුසියානු තෙල් නැව ජාත්‍යන්තර සම්බාධක පනවා තිබූ එකක් බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍ය රාජකීය මැරීන් කොමාන්ඩෝ භටයින් (Royal Marine Commandos), ජාතික අපරාධ ඒජන්සියේ (NCA) විශේෂ නිලධාරීන් සහ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව (RAF) එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම දියත් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙහෙයුම සඳහා චිනුක් (Chinook), මෙර්ලින් (Merlin) සහ වයිල්ඩ්කැට් (Wildcat) හෙලිකොප්ටර් යානා, RAF P-8 පෝසයිඩන් ඔත්තු බැලීමේ යානයක් මෙන්ම 'HMS Sutherland' සහ 'HMS Ledbury' යන බ්‍රිතාන්‍ය යුද නැව් ද දායක වී ඇති බවද සඳහන්.

අදාල තෙල් නැව මේ වන විට එංගලන්තයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයක නවතා ඇති බව වාර්තා වනවා.

එම නෞකාවෙන් පරිසරයට හෝ ආරක්ෂාවට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සහ එහි ඇති ද්‍රව්‍ය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් මේ වන විට දීර්ඝ විමර්ශන ආරම්භ කර තිබෙන බවය්ද එම මාධ්‍ය වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes