International13 August 2026

ඉරාන ඡායාරූප මාධ්‍යවේදිනියකට වසර 15ක සිර දඬුවමක්

ප්‍රකට ඉරාන ඡායාරූප මාධ්‍යවේදිනියක වන යාල්දා මොආයරිට (Yalda Moaiery) වසර 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඉරානයේ විරෝධතා සහ කාන්තාවන්ගේ ජීවිත ඇතුළු සංවේදී සිදුවීම් වාර්තා කරමින් සිය වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ගත කළ ඇය, එම කාර්යය හේතුවෙන් අවස්ථා ගණනාවකදී ඉරාන බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබුණා.

ඉරාන ජාතික මාධ්‍යවේදී දිනය යෙදී තිබූ සෙනසුරාදා ඇයට මෙම සිර දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 වසරේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති දින 12ක යුද්ධයෙන් පසුව හඳුන්වා දුන් නීතියක් යටතේ මෙම දඬුවම නියම කර ඇති බව සඳහන්.

ඔත්තු බැලීම සහ සතුරු රාජ්‍ය සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැළැක්වීම එම නීතියේ අරමුණ බව ඉරාන බලධාරීන් පවසන බවයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ.

මොආයරි සඳහන් කර ඇත්තේ, ටෙහෙරානයේ විප්ලවීය අධිකරණයට පැමිණි අවස්ථාවේදී තම නඩුවට අදාළ නිල ලේඛන තමන්ට ලබා නොදුන් බවයි.

ඇය සමග පැමිණි මිතුරෙකු චෝදනා පත්‍රයේ සඳහන් කරුණු අතින් පිටපත් කරගෙන ඇති බවද ඇය සඳහන් කර තිබෙනවා.

රොයිටර්ස් විසින් සමාලෝචනය කළ එම අතින් ලියන ලද සටහන් අනුව, බලධාරීන් සතුරු ලෙස සලකන මාධ්‍ය ආයතන වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීම සහ අමෙරිකාව හා ඊශ්‍රායලය සමග සම්බන්ධ සංවිධාන වෙත ඡායාරූප ලබාදීම ඇතුළු චෝදනා ඇයට එල්ල වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, එම චෝදනා පත්‍රයේ අන්තර්ගතය ස්වාධීනව තහවුරු කිරීමට රොයිටර්ස්ට හැකි වී නොමැති බවටයි සඳහන් වෙන්නේ.

මොආයරි පවසා තිබෙන්නේ, ජනවාරි මාසයේ පැවති රජයට එරෙහි විරෝධතා අතරතුර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශය තම නිවසට කඩා වැදී ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් විද්‍යුත් උපකරණ රැගෙන ගිය බවයි.

මේ වසරේ අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවද එම නිලධාරීන් යළි පැමිණ තම භාණ්ඩ රැගෙන ගිය බව ඇය සඳහන් කර තිබෙනවා.

ඇය පවසන්නේ තමන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කිරීම්වලට ලක් කළ බවත්, පසුව තම නඩුව ආරක්ෂක නීතිපති කාර්යාලයේ 33 වැනි ශාඛාව වෙතත්, ඉන් අනතුරුව විප්ලවීය අධිකරණය වෙතත් යොමු කළ බවයි.
Related recommendation
Hiru TV News | Programmes