International21 October 2025

ප්‍රංශ රාජකීය ආභරණ සදහටම අහිමි වීමේ අවදානමක්!

ප්‍රංශයේ ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයෙන් ප්‍රංශ රාජකීය ආභරණ සොරකම් කිරීමෙන් පසු ප්‍රංශ පොලිසිය රටේ විශාලතම සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතත්, මෙම මිල කළ නොහැකි කෞතුක වස්තු නැවත සොයා ගැනීම "සදහටම අහිමි වීමේ" ඉඩකඩක් ඇති බව විශේෂඥයෝ අනතුරු අඟවා තිබෙනවා.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ අපරාධ විශේෂඥයින් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, විමර්ශකයින්ට අවසානයේ වැරදිකරුවන් අල්ලා ගැනීමට විශ්වාසයක් ඇතත්, ආභරණ නැවත ලබා ගැනීම ඊට වඩා දුෂ්කර වනු ඇති බවයි.

"ඒවා කුඩා ආභරණවලට කඩා දැමූ පසු, එය සිදු කර අවසන්; කතාව ඉවරයි, නැවත කිසිදාක අපට මෙම ආභරණවල මුල් ස්වරූපය දැකගත නොහැකි වනු ඇත." Art Recovery Inteational හි නිර්මාතෘ ක්‍රිස්ටෝපර් මැරිනෙලෝ පවසා තිබෙනවා.

ලෝකයේ වැඩිම පිරිසක් නරඹන කෞතුකාගාරයේ පසුගිය ඉරිදා (19) සිදු වූ මෙම කොල්ලය "ජාතික නින්දාවක්" ලෙස විස්තර කර ඇති අතර, ප්‍රංශයේ සංස්කෘතික ආයතනවල ආරක්ෂාව පිළිබඳ හදිසි සමාලෝචන කිරීමට බලධාරීන් පොළඹවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

විමර්ශක ආතර් බ්‍රෑන්ඩ් පවසා සිටියේ, "ලෝකයේ වැදගත්ම කෞතුකාගාරය වන ලූවර් ඉලක්ක කර ප්‍රංශ රාජකීය ආභරණ සමගින් පළා යාමට හැකි නම්, ආරක්ෂක විධිවිධානවල බරපතළ වරදක් තිබේ." යනුවෙන්.

2016 වසරේ කිම් කාර්ඩෂියන්ගේ ආභරණ කොල්ලය මෙහෙයවීමෙන් ප්‍රසිද්ධියට පත් වූ විශේෂිත පොලිස් ඒකකය වන BRB විසින් විමර්ශනය මෙහෙයවනු ලබන අතර, ඔවුන් ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමින් සහ ඔත්තුකරුවන් සක්‍රීය කරමින් සිටිනවා.

මෙම කොල්ලය සිදු කිරීමට ඇත්තේ කුඩා, වෘත්තීය අපරාධකරුවන්ගේ ජාලයක් පමණක් බව බලධාරීන් විශ්වාස කරනු ලබනවා.

සංස්කෘතික ආයතන අයවැය කප්පාදුවලට මුහුණ දෙන බැවින්, යුරෝපය පුරා කෞතුකාගාරවල සොරකම් වැඩිවෙමින් පවතින බව විශේෂඥයෝ අනතුරු අඟවනවා.
Related Recommends
Hiru TV News | Programmes