International29 October 2025

බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ලන්ඩනයේ ඉඩම් කටාර් අල්-තානිලාට: ‘පුංචි දෝහා’ එංගලන්තයේ

එංගලන්තය තුළ වේගයෙන් ඉහළ යන කටාර් ආධිපත්‍යය පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර  තිබෙනවා.

කටාරයේ එමීර්වරයා වන තමීම් බින් අල්-තානිගේ රාජකීය පවුලට අයත් ලන්ඩනයේ දේපළ බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉඩම් හිමිකාරිත්වය අභිබවා යන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

කටාර්හි පාලක රාජවංශයේ අල්-තානි මන්දිරය, රහසිගතව ලන්ඩනයේ දැවැන්ත දේපළ වෙළඳාම් අධිරාජ්‍යයක් ගොඩනගා ඇති අතර, එය අද වන විට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ පෞද්ගලික හිමිකාරීත්වය ඉක්මවා තිබෙනවා.

සාමාන්‍යයෙන් මිනිසුන් ලන්ඩනය ගැන සිතන විට බකිංහැම් මාලිගය, කෙන්සිංටන් මාලිගය හෝ ශාන්ත ජේම්ස් මාලිගය වැනි බ්‍රිතාන්‍ය රාජකීයත්වයේ සදාකාලික සංකේත මවා ගත්තද, බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් අගනුවරට ඇති බලපෑම කටාර් රජපවුලේ මන්දිරයට සාපේක්ෂව අඩුවෙමින් තිබෙන බව සඳහන්.

බ්‍රිතාන්‍ය රජු වන චාල්ස්ට, ටවර් ඔෆ් ලන්ඩන් සහ හැම්ප්ටන් කෝට් මාලිගය වැනි ඓතිහාසික මන්දිර කිහිපයක් හිමි වුවද , එහි හිමිකාරිත්වය ලැබෙන්නේ ඇත්තේ 'ක්‍රවුන් එස්ටේට්' හරහා එනම්, රට වෙනුවෙන් භාරයක් ලෙස රජු සතු වන අතර එය පෞද්ගලික දේපළක් වන්නේ නැහැ.

අල්-තානි පවුලේ සම්පූර්ණ ශුද්ධ වටිනාකම පවුම් බිලියන 2.4ක් පමණ වන බවට ගණන් බලා  තිබෙනවා.

ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිට පමණක් පවුම් බිලියන 1.6ක් වටිනා වත්කම් හිමි බව වාර්තා වනවා.

මෙම පවුල සමස්තයක් ලෙස ලන්ඩන් අගනුවර වර්ග අඩි මිලියන 1.8ක පමණ දේපළ ප්‍රමාණයක් හිමි කරගෙන සිටින බව සඳහන්.

එංගලන්තේ ‘පුංචි දෝහා’

බ්‍රිතාන්‍යයේ කටාර් ආධිපත්‍ය ගැන කතාකරන විට එංගලන්තයේ වයඹදිග මේෆෙයාර් ප්‍රදේශය විශේෂයෙන් කැපී පෙනෙන අතර, එය කටාර්වරුන්ගේ හිමිකාරීත්වයේ ඇති ගොඩනැගිලි ප්‍රමාණය හේතුවෙන් ‘පුංචි දෝහා’ ලෙසත් හැඳින්වෙනවා.

වාර්තාවලට අනුව, මෙම ප්‍රජාවෙන් හතරෙන් පංගුවක් පමණ කටාර් පවුල සතු බවට ගණන් බලා තිබෙනවා.

එයට බ්‍රිතාන්‍යයේ වඩාත්ම මිල අධික පෞද්ගලික වාසස්ථානය ද ඇතුළත්. වර්ග අඩි 44,000ක් වන එම මන්දිර 2015 දී පවුම් මිලියන 400ක් වටිනා බව ගණන් බලා තිබුණා. වාර්තා වන පරිදි, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජින පවා එයට සාපේක්ෂව බකිංහැම් මාලිගය ‘ටිකක් අඳුරුයි’ යැයි පැවසු බව වාර්තා වනවා.

 

බිමින් නොනැවතී බ්‍රිතාන්‍ය අහසට

කටාර්හි පැවැත්ම නේවාසික දේපළවලින් නොනැවතී, ලන්ඩනයේ ප්‍රසිද්ධ සන්නාම කිහිපයක් අල්-තානි මන්දිරය විසින් අත්පත් කරගෙන තිබෙනවා.

සුපිරි භාණ්ඩ හා සේවා සමූහ ව්‍යාපාරයක් වන හැරඩ්ස් (Harrods), The Berkeley, Claridge's, The Connaught, සහ The Emory වැනි හෝටල්, යුරෝපයේ උසම ගොඩනැගිල්ල වන The Shard, 95%ක්ම කටාර් රාජ්‍යය සතුයි.

තවද, ඔවුන් කැනරි වෝෆ් හි සම හිමිකාරිත්වය දරන අතර, 2025 දී සංචාරකයින් මිලියන 84.2කට සේවා සැපයීමට අපේක්ෂා කරන හීත්‍රෝ ගුවන් තොටුපළේ 20%ක කොටස් හිමිකාරීත්වයක් දරනවා.

බ්‍රිතාන්‍ය සුපිරි වෙළඳසැල් ජාලය වන සේන්ස්බරිස් හි පවා කටාර් රාජ්‍යය 14.3%ක ආයෝජනයක් පවත්වාගෙන යනවා.

Related Recommends
Hiru TV News | Programmes