International01 May 2026

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට

ඉන්දියාවේ සංචාරයකට එක්වූ ඉතාලි ආරක්ෂක අමාත්‍ය ගයිඩෝ ක්‍රොසෙටෝ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට එක්ව තිබෙනවා.

එහිදී සංවේදී ආරක්ෂක තාක්ෂණයන් පකිස්ථානය සමග බෙදා ගැනීමෙන් වළකින ලෙස ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉතාලියෙන් ඉල්ලා සිටියා.

ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා අවධාරණය කරමින්, පකිස්ථානය සමග ඇති විය හැකි ඕනෑම ආරක්ෂක තාක්ෂණික සහයෝගීතාවයක් නවත්වන ලෙස සිං මහතා ඉතාලියෙන් ඉල්ලා සිටි බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියාවට ලබා දෙන ඇතැම් ආරක්ෂක තාක්ෂණයන් සුවිශේෂී වන අතර ඒවා වෙනත් රටවල් සමඟ බෙදා නොගන්නා බවට ඉතාලි පාර්ශවය සහතික වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

හමුව අතරතුර, ඉන්දියාව සහ ඉතාලිය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය සාමය, ස්ථාවරත්වය, නිදහස සහ අන්‍යෝන්‍ය ගෞරවය යන හවුල් සාරධර්ම මත පදනම් වී ඇති බව නායකයන් දෙපළ යළි තහවුරු කර තිබෙනවා.

X වෙබ් අඩවියේ සටහනක් තබමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ බටහිර ආසියාවේ වත්මන් තත්ත්වය ඇතුළු කලාපීය සහ ගෝලීය ගැටලු රැසක් පිළිබඳව තමන් සහ ඉතාලි ආරක්ෂක අමාත්‍යවරයා සාකච්ඡා කළ බවයි.

ආත්මනිර්භර් භාරත්' (Aatmanirbhar Bharat) වැඩසටහන සහ ඉතාලියේ ආරක්ෂක සහයෝගීතා මුලපිරීම් යටතේ දෙපාර්ශවයටම වාසිදායක ආරක්ෂක කාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ සාකච්ඡා කර තිබෙනවා.

දෙරටේ සන්නද්ධ හමුදා අතර ඉදිරි කටයුතු පිළිබඳව කරුණු ඇතුළත් 2026-27 සඳහා වන ද්විපාර්ශ්වික මිලිටරි සහයෝගීතා සැලැස්මක් මෙහිදී හුවමාරු කරගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ගුරුග්‍රාම් හි පිහිටි ඉන්දියානු සාගර කලාපීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre-Indian Ocean Region) හරහා තොරතුරු හුවමාරුව ඉහළ නැංවීම ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පුරාණ සමුද්‍රීය ජාතීන් දෙකක් වන ඉන්දියාව සහ ඉතාලිය අතර පවතින එකඟතාවයන් ද දෙපාර්ශවයම අවධාරණය කර තිබෙනවා.

මේ අතර, ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් 'ෆින්කැන්ටියරි' (Fincantieri) නැව් අංගනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු ඉතාලි දූත පිරිසකට වෙරළාරක්ෂක මූලස්ථානයේදී සත්කාරකත්වය ලබා දී තිබෙනවා.

එහිදී 'ආත්මනිර්භර් භාරත්' දැක්මට අනුකූලව, ඩයිනමික් පොසිෂන් පද්ධති (dynamic positioning systems), දියුණු තෙරපුම් යන්ත්‍ර (advanced thrusters), කෘතිම බුද්ධියෙන් ක්‍රියා කරන තීරණ ගැනීමේ සහායක පද්ධති, ඩ්‍රෝන විරෝධී ආරක්ෂක පද්ධති (C-UAS) සහ මීළඟ පරම්පරාවේ පරිසර හිතකාමී ප්‍රචාලන පද්ධති වැනි සුවිශේෂී තාක්ෂණයන් දේශීයව සංවර්ධනය කිරීම සහ ඒකාබද්ධව සංවර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කර ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes