General03 October 2025

නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි - ජනපති

ව්‍යවස්ථානුකූලව පිහිටුවන ලද නිත්‍යානුකූල ආණ්ඩුවක් තිබිය දී එතරම් බලවත් නොවුණත් ඒ හා සමාන අංගෝපාංග සහිත කළු පාලනයක් ද රටේ තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කිරීම සඳහා කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් වෙත අනුනායක පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ජනපතිවරයා අතින් පිළිගැන්වීම නිමිත්තෙන් අද (03) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැති රාජ්‍ය උත්සවයේ දී ජනපතිවරයා මේ බව පැවසුවා.

ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමෙන් අනතුරුව රාජ්‍ය උත්සවය අමතමින් ජනපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අපේ රටේ එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද ආණ්ඩුවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංගෝපාංග සහිත කළු පාලනයකුත් රට තුළ ක්‍රියාත්මකයි. රටේ නීත්‍යානුකුල පොලීසියක් තිබෙනවා. කළු පාලනය නියෝජනය කරන පොලීසියේ පිරිසකුත් ඉන්නවා. නිත්‍යානුකූල මෝටර් රථ ලියාපදංචි කිරීමේ දෙපාර්ත‍මේන්තුවක් තිබෙනවා. ඒ වගේම කළු අයටත් එහෙම එකක් තියෙනවා. නීත්‍යානුකූල ආගමන විගමන දෙපාර්තමේන්තුවක් තිබෙනවා. කළු අයටත් ඒකක් තියෙනවා. රේගු දෙපාර්තමේන්තුවක් නිත්‍යානුකූලව ක්‍රියාත්මක වෙද්දී  කළු අයටත් එහෙම එකක් තියෙනවා. නිත්‍යානුකූල දේශපාලන අධිකාරියක් රටේ තියෙනවා. කළු අයටත් එහෙම එකක් තියෙනවා.”

‘දැන් අපි ඉන්නේ මේ ද්විත්ව ආණ්ඩුකරණයේ”

“දැන් අපි ඉන්නේ මේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කර ගන්නා ලද ආණ්ඩුව. අනෙක කළු ධනය හා අවි බලය විසින් නිර්මාණය කරන ලද කළු පාලනය. මේ දෙකෙන් කෝකද පැවැතිය යුත්තේ කියලා තීරණයක් ගත යුතුයි. එක්කෝ ඕන දෙයක් සිදුවුණු දෙන් කියා ‍කළු පාලනයත් තියාගෙන අපේ පාලනයත් ගෙන යන්න ඕන. නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අත්හැරලා අපි කවුරුත් කළු පාලනයට යන්න ඕන. එහෙමත් නැත්නම් නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි. අපේ ආණ්ඩුව තෝරා ගත්තේ ඒකයි. නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අපි අවසන් කරනවා. ඒ සඳහා තබන ලද පියවර කිසිසේත්ම ආපසු නොහරවන බව මම මහා සංඝරත්නයට සපථ කර ප්‍රකාශ කරනවා.

“සහකම්පනය වියැලුණු මිනිස්සු බවට අපි පත්වෙලා”

“අපේ සමාජය විශාල අතුරු අන්තරාකාරී ඇබැද්දි ගණනාවකට මුහුණ දී තිබෙන වෙලාවක් මේක. අපිට බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්. බිඳ වැටුණු මහාමාර්ග, පාලම්, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ හැකියි. නමුත් සමාජයක් මහා විනාශයකට මුහුණ දී තිබෙන අවස්ථාවක ඒක නැගිට්ටවීමට උත්සාහ කිරීම අසීරුයි. අපේ සමාජය පැති ගණනාවකින් බිඳ වැටී තිබෙනවා. පරිහානියට පත්ව තිබෙනවා. අනෙකාගේ දුක වේදනාව හඳුනා ගැනීම සඳහා පවත්වාගත යුතු සහකම්පනය වියැලුණු මිනිස්සු බවට අපි පත්වෙලා. හොඳ නරක මනින එකම මිණුම් දණ්ඩ බවට එක්රැස් කර තිබෙන ධනය පත්වෙලා. ඒවා උපයා ගත්තේ කොහොමද කියන කාරණය දෙවැනියට ගිහින්. තමන් සතු ධනය සමාජයේ මහා වටිනාකමක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අපේ සමාජයට යළි අලුත් හර පද්ධතියක් අවශ්‍ය වී තිබෙනවා. පුරවැසියාගේ හොඳ නරක මනින නිර්ණායකය බවට පත්කර ගන්නේ කොතනද?. සමාජයේ උසස් කීර්තිධරයකු බවට පත්කර ගන්නා නිර්ණායක ධනය ද තනතුරු ද හොබවන නිලතල ද කියලා කල්පනා කර බැලිය යුතුයි. උසස් පහත් ලෙස මනින නිර්ණායක බවට මේවා පත්ව තිබෙනවා. හොඳ දේ මොනවාද වටිනා දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් සමාජයක් අපිට අවශ්‍යයි.”

“එවැනි පාලන ඇති වීම වළක්වා ගැනීමට සමාජය පවිත්‍ර කළ යුතුයි”

බුදු දහම මගින් වටිනාකම් සහිත හර පද්ධතියක් අපිට උගන්වා තිබෙනවා. ඒ සියල්ල සුණු විසුණු කරමින් විනාශකොට දමා විකෘති වූ හර පද්ධතියක් නිර්ණායක ලෙස සමාජය වෙත හෙළා තිබෙනවා.  ඒ නිසා යළිත් මෙම සමාජය තුළ යහපත් දේ කුමක්ද කියන හර පද්ධතිය ස්ථාපිත කළ යුතුව තිබෙනවා. රජ්‍යයක් ලෙස අපට පැවරී තිබෙන කාර්ය භාරය අප තේරුම් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටිනවා. සමාජයක් සුවපත් කිරීමේ කාර්යභාරයේ ඉතා කුඩා කොටසක් තමයි රාජ්‍ය වෙත පැවරෙන්නේ. සමාජය සුවපත් කිරීමේ කාර්යභාරයේ දී විශාල පංගුවක් පැවරෙන්නේ ආගමික  සංස්ථාවන්ට කියන එක මම විශ්වාස කරනවා.

මේ සමාජයේ  තව තවත් ඇතුළට ගියොත් මොනතරම් විනාශකාරී තත්ත්වයක සමාජය ගිලී තිබෙනවාද කියලා තේරුම් ගන්න පුළුවන්.  කළු පාලනය මොන තරම් විනාශකාරී තත්ත්වයක් කරා තල්ලු වෙලාද කියනවා නම් මෑත කාලයේ පළවන ප්‍රවෘත්තිවලින් මේ සමාජය විශාල තිගැස්මකට භාජනය කරන්න තරම් එය බලවත් වී තිබෙනවා. මත්ද්‍රව්‍ය, අවි ආයුධ, නිත්‍යානුකූල නොවන දේපල, එක් රැස්කරගත් මහා ධනය හා ඒ වෙනුවෙන් අවි ආයුධ හසුරුවන්න පුළුවන් ප්‍රජාවක් ඉන්නවා. ඒවා භාවිත කරමින් තැන තැන වෙඩි තබා මිනිසුන් මරා දමන්න තරම් සුදානම් මානසිකත්වයක් සහිත තරුණයින් බිහිවෙලා. මේ සමාජය යහපත් කරන්න නම් මේ කළු පාලනය අවසන් කළ යුතුයි. රාජ්‍ය හැටියට ඒ සඳහා අපේ කාර්යභාරය ඉතාමත්ම ශක්තිමත්ව කරන බව නැවත වතාවක් සපථ කරනවා. නැවත නැවත එවැනි පාලන ඇතිවීම වලක්වා ගැනීම සඳහා සමාජය පවිත්‍ර කළ යුතුයි. ඒ සඳහා සමාජය යළි අලුත් පුනරුප්පත්තියකට කැඳවාගෙන  ඒමේ දී අපේ හාමුදුරුවන් වහන්සේලාට විශාල කාර්යභාරයක් පැවරෙනවා. අපේ ආනන්ද අනුනායක හාමුදුරුවන්වහන්සේ ඒ වෙනුවෙන් විශාල උනන්දුවක් දක්වන බව මම දන්නවා. ඒ නිසා සමාජය යහපත් කරන කාර්යයේ දී අපේ හාමුදුරුවන්ගේ නායකත්වය හා උපදෙස් ඉතාමත්ම වැඳගත්.

“ජනපති ලෙස මම දන්නවා මට තිබෙන සීමාවන්”

මහානායක හිමිවරු හමුවෙලා අද සාකච්ඡා කළා. උන්වහන්සේ සිව් නම මට ලිඛිත ප්‍රකාශක් යොමු කළා. අපේ රටේ හා සමාජයේ  ඕනෑම කැළඹීමක් ඇතිවන වෙලාවක අපේ මහානායක හිමිවරු සක්‍රීයව එයට මැදිහත් වෙලා අනුශාසනා ලබාදීම, මඟ පෙන්වීම කරනවා.ඒක සමාජයට අවශ්‍යයි. විධායක බලය තිබෙන ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක බලයක් තිබෙන නිසා ඕනෑම දෙයක් කළ හැකියි කියන මනෝභාවයකින් ආණ්ඩුවකට යන්න බැහැ. ආණ්ඩුවක් මුළු සමාජයකම විවිධ පැතිකඩයන්ගේ නියෝජනයක් විය යුතුයි. ජනපති ලෙස මම දන්නවා මට තිබෙන සීමාවන් මොනවද කියලා. සමාන්‍යයෙන්  බොහෝ අය හිතාගෙන හිටියා මේකට සීමාවන් නැහැ කියලා.

“ආණ්ඩුවක් තුළ සීමා රහිතව තමන්ට හිතූ හිතූ දේ කරන්න බෑ”

ඇත්තටම ව්‍යස්ථාවේ සීමාවන් නැහැ. ඕනෑම වැරදිකරුවෙක් නිදහස් කරන්න පුළුවන්.ඒ සඳහා  ව්‍යවස්ථාවේ සීමාවන් නැහැ. ඕන තරම් රජ්‍ය ධනය වියදම් කරන්න පුළුවන්. ඕන තරම් මාලිගා හදන්න පුළුවන්. ඒවට ව්‍යවස්ථාවේ සීමා නැහැ. ඕන තරම් සම්බන්ධීකරණ ලේකම්වරු පුද්ගලික කාර්ය මණ්ඩල පත්කර ගන්න පුළුවන්. විධායක ජනපතිවරයාට සීමාවන් නැති වුණාට අපිට සීමාවක් තිබුණා. ඒ නිසා අපි සමහර සීමාවන් ප්‍රායෝගිකව ඔප්පු කරන්න කටයුතු කළා.  සමහර ඒවා නීතියෙන් සීමා කරන්න කටයුතු කළා. මේ තමයි ඔබට තිබෙන සීමාව කියලා. ආණ්ඩුවක් තුළ සීමා රහිතව තමන්ට හිතු හිතු දේ කරන්න බැහැ. අපේ ඓතිහාසික උරුමයන් සහිතව නායක හිමිවරුන්ගේ උපදෙස් ඔවදන් ඉතිහාසයේ පුරාවටම රාජ්‍යත්වය ගොඩනැගීම සඳහා මැදිහත්ව තිබෙනවා.රාජ්‍ය තර්ජනයට ලක් වූ අවස්ථාවල ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් ව තිබෙනවා. එවැනි භික්ෂු උරුමයක් තිබෙනවා ඒ උරුමය ඒ විදිහටම පිළිගන්න අපි ලෑස්තියි.”

Related Recommends
Hiru TV News | Programmes