Business21 October 2025

පාරිභෝගිකයන් සඳහා ණය පොලී අනුපාත සිව් වසරකට පෙර මට්ටමට

ශ්‍රී ලංකාවේ ණය පොලී අනුපාත පසුගිය වසරේ සිට වේගවත් ලෙස පහළ යමින් පවතින අතර, ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්තිය වෙළෙඳපොළ පොලී අනුපාත හරහා කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වීම මෙයට හේතුව බවටයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන්, බලපත්‍රලාභී බැංකු ඔවුන්ගේ ඉහළම ණය ශ්‍රේණියේ පාරිභෝගිකයන් සඳහා ණය මිල නියම කිරීමේදී භාවිත කරන මිණුම් දණ්ඩ වන ප්‍රමුඛ ණය අනුපාත (AWPR), පසුගිය සතියේ දී පදනම් ලකුණු 26කින් පමණ පහළ වැටී තිබෙනවා.

මෙය, ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව, 2022 මාර්තු මාසයේ දී ඇනහිටීමට පෙර දක්නට ලැබුණු මට්ටමක්.

පසුගිය සතිය අවසන් වන විට ප්‍රමුඛ ණය අනුපාතය සියයට 7.93ක් වූ අතර, එය අවසන් වරට වාර්තා වූයේ 2022 ජනවාරි 7 වැනිදායි.

බැංකු කිහිපයක් සතිය තුළ සියයට 7.61 තරම් අඩු ප්‍රධාන අනුපාත ද පිරිනැමූ අතර, එයින් දැක්වෙන්නේ ඉතා ඉහළ විශ්වාසනීයත්වයක් ඇති පාරිභෝගිකයන් සඳහා වන ඇතැම් විශාල ණය පහසුකම් සාමාන්‍යයට වඩා අඩු මිලකට නිකුත් කර ඇති බවයි.

මෙම ප්‍රධාන අනුපාතය සමස්ත ආර්ථිකය පුරා ණය අනුපාතවල හැසිරීමට සමීපතම මිණුම් දණ්ඩ ලෙස ක්‍රියා කරන අතර, ණය සඳහා ඇති සමස්ත ඉල්ලුම ද එයින් පෙන්නුම් කෙරෙනවා.

සාමාන්‍ය ප්‍රධාන අනුපාතයේ සාපේක්ෂව වේගවත් පහළ යෑමක් වාර්තා වුවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශය සඳහා පොලී අනුපාත අපේක්ෂිත වේගයෙන් පහළ නොයන බවට ඇතැම් පාර්ශවවලින් සැලකිල්ලක් මතුව තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, මහ බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) සඳහා පිරිනමන අනුපාත සම්පාදනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සති කිහිපයකට පෙර ආරම්භ කළේ, එම අංශයේ ණය අනුපාත මේ වන විට පවතින මට්ටම් ඉස්මතු කරමින්.

මහ බැංකුවට අනුව, සාමාන්‍ය බර තැබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අනුපාතය (AWSR) සහ සාමාන්‍ය බර තැබූ නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අනුපාතය (AWNSR) පිළිවෙලින් 2025 අගෝස්තු මාසයේ දී සියයට 11.66ක් සහ සියයට 10.79ක් ලෙස වාර්තා වූවා.

එය 2025 ජූලි මාසයේ දී පිළිවෙලින් සියයට 11.78ක් සහ සියයට 10.77ක් ලෙස පැවතුණි.

පළමු මිණුම් දණ්ඩ මගින් බලපත්‍රලාභී බැංකු විසින් MSME අංශයට දී ඇති සියලුම රුපියල් ණයවල පොලී අනුපාත මනිනු ලබන අතර, දෙවැන්න මගින් යම් මාසයක් තුළ ලබා දුන් නව රුපියල් ණය ආවරණය කරනු ලබනවා.

2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාව විසින් පුද්ගලික අංශයට ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,128 ක් වන අතර, එය මෙතෙක් වසරක වාර්තා වූ ඉහළම අගයයි.
Related Recomands
Hiru TV News | Programmes