Sports20 October 2025

කාන්තා ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන: ඉන්දීය පරාජයෙන් පසු වෙනස් වෙයි

ඊයේ (19) ඉන්දියාවේ ඉන්දෝර්හිදී පැවති තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළා.

මෙම තරගය අවසන් වීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ කැපී පෙනෙන වෙනස්කම් සිදුව තිබෙනවා.

තරග 5ක් අවසානයේ ජයග්‍රහණ 4ක් සහ ප්‍රතිඵල රහිත එක් තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 9ක් ලබා ගෙන සිටින ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තවදුරටත් පෙරමුණේ පසුවනවා. ඔවුන්ගේ NRR අගය 1.818ක්.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණය හේතුවෙන්, එංගලන්ත කාන්තා කණ්ඩායම ද තරග 5ක් අවසානයේ ජයග්‍රහණ 4ක් සහ ප්‍රතිඵල රහිත එක් තරගයක් සමඟින් ඕස්ට්‍රේලියාව සමඟින් ප්‍රසාද ලකුණු 9 බැගින් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටිනවා.

ඔවුන්ගේ NRR අගය 1.490ක්. ඔවුන් පෙර සිටි තෙවන ස්ථානයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම, තරග 5ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 4ක් සහ එක් පරාජයක් සමඟින් ප්‍රසාද ලකුණු 8ක් ලබා ගෙන තෙවන ස්ථානයට පත්ව සිටිනවා. ඔවුන්ගේ NRR අගය -0.440ක්.

එංගලන්තය සමඟ පැවති තරගය පරාජය වීම හේතුවෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම තරග 5ක් අවසානයේ පරාජයන් 3ක් වාර්තා කර ඇති අතර, තවදුරටත් ප්‍රසාද ලකුණු 4ක් සමඟින් සිව්වන ස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන්ගේ NRR අගය 0.526ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ප්‍රතිඵල රහිත තරග 2ක් සහිත නවසීලන්ත කාන්තා කණ්ඩායම ද තරග 5ක් අවසානයේ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගෙන පස්වන ස්ථානයේ පසුවනවා.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තරග 5ක් අවසානයේ ලකුණු සටහනේ හය වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 2ක් සමඟින්.

හත් වන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 5ක් අවසානයේ ප්‍රතිඵල රහිත තරග දෙකක් හේතුවෙන් ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින අතර, ලබා ඇති NRR අගය -1.564ක්.

8 වන ස්ථානයේ පාකිස්ථාන කාන්තා කණ්ඩායම රැඳී සිටිනවා. තරග 5ක් අවසානයේ ප්‍රතිඵල රහිත තරග 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 2ක් ලබා ගැනීමට ඔවුන් සමත්.

අද (20) ICC කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 21 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර තරගය DY Patil ක්‍රීඩාංගණයේදී ප.ව. 3:00 ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes